Saturday, September 26, 2009

ඔපෙරා බ්‍රව්සරයෙන් සිංහල කියවන හැටි

හැමෝම දකින්න ඇතිනේ මම කලින් ලියලා තිබුණා ඔපෙරා බ්‍රවුසරයේ 5 වන සංස්කරණය ගැන. ඒකෙදි මම පෙන්වලා තිබුණා ඒ මොබයිල් බ්‍රවුසර් එකෙන් සිංහල කියවන්න පුළුවන් කියන එක. අද මම කියන්න යන්නේ ඒක කරන්නේ කොහොමද කියන එක. ඒක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. වැඩේට යන්නේ නෑ විනාඩියක්. ඇත්තටම මට මේක ගැන කිව්වේ මගේ මිත්‍රයෙක්. ඒක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා ලියන්න හිතුවා. බ්‍රවුසරය සිංහල කියවන්න පුළුවන් විදියට හැදුවේ නැත්තම් සිංහල පේන්නේ මෙන්න මෙහෙම.

වැඩේ සරලව මෙහෙමයි:

බ්‍රවුසරය විවෘත කර ලිපින තීරයේ (Address Bar) "config:" (පෙරළි කොමා විරහිතව) ලෙස ලියා "Go" බොත්තම ඔබන්න.


දැන් ලැබෙන තිරයේ පහළටම ගිය විට "Use bitmap fonts for complex scripts" යනුවෙන් පරාමිතියක් (Parameter) ඇත.


එය ක්ලික් කර එහි ඇති "No" වෙනුවට "Yes" කියා ලබා දෙන්න.

දැන් "Save" බොත්තම ඔබා ඔබගේ සැකසුම තහවුරු කරන්න.

ඔන්න වැඩේ හරි. දැන් තියෙන්නේ ඉතිං වැඩද කියලා බලන එක තමයි. මේ තියෙන්නේ මගේ බ්‍රවුසරයේ කලින් කොටු කොටු තිබුණ සටහන.

 
එහෙනම් ඔයාලත් කරලා බලලා කියන්නකො වැඩේ කොහොමද කියලා.

Thursday, September 17, 2009

හිම දිවියා නොහොත් Snow Leopard

සිරස්තලය දැක්ක ගමන් නම් හිතෙන්නේ මම මේ සතෙක් ගැන කථා කරන්න යනවා කියලා නේද? හැබැයි මෙහෙයුම් පද්ධති ගැන ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් නම් දන්නවා මම මේ මොකක්ද කියන්න යන්නේ කියලා. ඒ මොකද ඒ නම මේ දවස්වල සෑහෙන කියවෙන එකක් නිසා.
ඇපල් සමාගම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒක කිව්ව ගමන් කාටත් එකපාරටම මතක් වෙන්නේ ඇපල් අයිෆෝන් එක. අන්න එතකොට නම් මතක් වුනා නේද මේ දිවියා ගැන? ඒත් නැද්ද? හරි හරි එහෙනම් මම ම කියන්නම්කෝ. ඔයාලා හැමෝම දන්නවනේ ඇපල් සමාගමේ සුප්‍රසිද්ධ මැක් පරිගණක (Mac Computers) ගැන. අන්න ඒ පරිගණක වලට ඇවිත් තිබුන මැක් ඕඑස් එක්ස් (Mac OS X) කියන මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය (10.6) තමයි මේ "හිම දිවියා" නැත්නම් "Snow Leopard" කියලා කියන්නේ. මේ තියෙන්නේ පරණ මැක් ඕඑස් එක්ස් සංස්කරණයක තිර රූපයක්.

සංස්කරණය 10.5 "දිවියා" නොහොත් "Leopard"
මෙම "Snow Leopard" මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙලා තියෙන්නේ 2009 අගොස්තු 28 දිනයේ. ඇත්තෙන්ම මෙය Mac OS X මෙහෙයුම් පද්ධති වල 7 වන ප්‍රධාන නිකුත් කිරීමයි. මේකේ ප්‍රධාන වෙනස්කම් තමයි.
  1. නව පෙනුම.
  2. ස්ථාපනයේ, පණ ගැන්වීමේ සහ නිවා දැමීමේ වේගයත් භාවය.
  3. අඩු ඉඩ ප්‍රමාණය (මෙය Leopard පද්ධතියට වඩා 7GB ප්‍රමාණයකින් අඩු බවයි පැවසෙන්නේ)
  4. නව ආරකට වීන අකුරු ලිවීමේ ක්‍රමය. ට්‍රැක්පෑඩ් එක මත කෙලින්ම අකුර ලියන්න පුළුවන්. චීන වගේ භාෂාවකට එහෙම ක්‍රමයක් නැති වුනාම තියන අමාරුව ඉතින් කියන්න අවශ්‍ය නැහැනේ.


  5. 64bit තාක්ෂණය
මෙවැනි තවත් නව වෙනස්කම් බොහොමයක් ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ අලෙවිය දැනටමත් කලින් පද්ධතියේ (Leopard) අලෙවිය මෙන් දෙගුණයක් සහ ඊටත් කලින් පද්ධතියේ (Tiger) අලෙවිය මෙන් හතර ගුණයක් බව තමයි පැවසෙන්නේ.
ඉතින් මෙම පද්ධතියේ මිල තමයි $29. හරි ලාභයි වගේ නේද අනෙකුත් පද්ධති එක්ක සලකද්දි? මේ මිලට ඔබට ලැබෙන්නේ ඔබ කලින් පද්ධතියකින් උසස් වීමක් ලබා දෙනවා නම් විතරයි. ඒක තමයි සාපේක්ෂව මේ ගාන අඩු. මොකද මේ පද්ධති වැඩ කරන්නේ විශේෂ ඇපල් දෘඩාංග මත. ඒක නිසා කෙනෙක් ලඟ දැනට තියන අයිබීඑම් අනුකූල (IBM Compatible) පරිගණක වල ක්‍රියාත්මක කරන්න බැහැ (නීත්‍යානුකූල ලෙස ස්ථාපනය කරන්නේ නම්). ඉතින් ඔබට අලුත් ඇපල් පරිගණකයක් ගැනීමට සිද්ධවෙනවා දැනට ඔබ ලඟ එකක් නැත්නම්.

කෙසේ වෙතත් ඇපල් මැක් පද්ධති පදනම් වෙලා තියෙන්නේ යුනික්ස් (UNIX) සහ බීඑස්ඩී (BSD) කියන පද්ධති (ලිනක්ස් වල පදනමත් යුනික්ස්) මත නිසා වින්ඩෝස් වලට වඩා නම් ගොඩාක් ඉදිරියෙන් තියනවා කියන එකට සැකයක් නැහැ. ඒ වගේම ආකර්ෂණීය දෘඩාංගත් ඇපල් සඳහා පවතිනවා. ප්‍රධානම එක තමයි ලැප්ටොප් පරිගණක වල තියන ට්‍රැක් පෑඩ් එක. ඒක අනෙක් සාමාන්‍ය ට්‍රැක් පෑඩ් වලට වඩා තරමක් විශාලයි. බහු-ස්පර්ශ සංවේදීතාවය (Multi-touch) තමයි වඩාත් ලගන්නා අංගය. එහිදී ඔබට රූපයක් කැරකැවීම, හැරවීම, විශාල කිරීම වගේ දෙවල් ඇඟිලි දෙකක් උපයෝගී කරගෙන කරන්න පුළුවන්. පහළ තියන වීඩියෝවේ තියෙන්නේ ඒ ගැන නිරූපණයක් (Demonstration).



ඉතින් මේ ආකාරයට විස්තර කියන්න ගියොත් නම් කෙලවරක් නැති දෙවල් හිතට එනවා. ඔයාලම ගිහිල්ලා බලන්නකෝ ඇපල් වෙබ් අඩවියට තව අලුත් දෙවල් මොනවද තියෙන්නේ කියලා.
වෙබ් අඩවිය

Wednesday, September 16, 2009

ඔපෙරා මිනි මොබයිල් බ්‍රවුසරය 5 වන සංස්කරණය (Operan Mini Mobile Browser V5)

ඔපෙරා මිනි මොබයිල් බ්‍රවුසරය ගැන නම් ඉතිං මම අමුතුවන්ම කට්ටියට කියන්න ඕන නැහැනේ. මොකද ඒ තරම්ම මේ බ්‍රවුසරය ජංගම දුරකථන ඇතුළු අනෙකුත් ජංගම උපාංග (PDA වගේ උපාංග) භාවිතා කරන්නන් අතර සෑහෙන ජනප්‍රිය නිසා. මේකට ප්‍රධාන හේතු තමයි,
  1. ජාවා මත පදනම් වීම - මේක නිසා ගොඩාක් උපාංග මත ක්‍රියාත්මක වෙනවා.
  2. පහසු අතුරු මුහුණත (interface) - බ්‍රවුස් කරන්න ගොඩාක් පහසු විදියට සකසලා තියෙනවා.
ඉතිං මේක නිසා ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ උපකරණයට ආපු ප්‍රධාන බ්‍රවුසරයටත් වඩා මේ ඔපෙරා එක භාවිතා කරන්න.
මම ඇත්තේන්ම කියන්න සැරසුනේ මේ කියන සුප්‍රකට බ්‍රවුසර නිර්මාතෘ වරුත් තවත් අලුත් සංස්කරණයක් ඉදිරිපත් කරලා තියනවා සංස්කරණය 5 ලෙසින්. දැනෙට මේකට ලැබිලා තියන ප්‍රතිචාර නම් ඉතාමත් හොඳයිලු. දැනට තියෙන්නේ බීටා සංස්කරණයක්. ඒ කියන්නේ පරීක්ෂණ අවසන් අදියරේ. කොහොමහරි ප්‍රවෘත්තිය අහපු ගමන් මම නම් දෙපාරක් හිතුවේ නෑ ස්ථාපනය කරා මගේ ජංගම දුරකථනයේ. මොකද මේ වෙනකොටත් මම ඔපෙරා 4.2 සංස්කරණය භාවිතා කර කර හිටියේ.
ෂහ්!!! බලාපොරොත්තුවෙන් හිටපු ගොඩාක් අංග එකතු වෙලා. එක් ප්‍රධාන එකක් තමයි "tab browsing". හරියට පරිගණකයේ ගිනි හිවලාගේ වගේ අවශ්‍ය ටැබ් එක ලස්සනට තෝරන්න පුළුවන්. තවත් අංග ගොඩායි,
  1. Password Manager - මුරපද පාලකය
  2. Speed Dial - වේග මුහුණත
  3. Power Scrolling - පිටුවක පහළට යනකොට ලස්සනට පිටුව පහළට ඇදිලා යනවා. ස්පර්ශ සංවේදී උපකරණයක් නම් තමයි මේක ගොඩාක් වැදගත් වෙන්නේ.
  4. Touch & Keypad - ස්පර්ශ සංවේදී දුරකථන වලට ගැළපීම සහ තිරය මත දිස්වන යතුරුපුවරුව
  5. Google Searchbox - ගිනි හිවලාගේ දකුණු පස ඇති ආකාර ගූගල් සොයනය
ඉතිං මේ විදියට ගොඩාක් අංග එක්රැස් කරලා තමයි Opera Mini 5 සංස්කරණය නිර්මාණය කරලා තියෙන්නේ.
කෙසේ වෙතත් කීප දෙනෙක් කිව්ව විදියට ලොකු තිර නැති දුරකථන වල නම් නැත්නම් උපකරණ වල සහ බලය අඩු උපකරණ වල ටිකක් භාවිතය අපහසුයි කියලා. ඒක වෙන්න පුළුවන්, මොකද අතුරු මුහුණත තරමක් සංකීර්ණ නිසා වගේම ඒකට උපකරණයේ මතකයත් (උදා: Ram) බලපාන නිසා. හැබැයි ඒ ගැන තීරණය කරන්න ඔයාලට මෘදුකාංගය දාලම බලන්න වෙනවා.
මේ තියෙන්නේ Nokia 5800 XpressMusic වල ඔපෙරා මිනි 5 ධාවනය වෙන අයුරු දැක්වෙන සටහන් කීපයක්. මමත් තවම මේක භාවිතා කරන්න ආරම්භ කරා විතරයි. ඒ නිසා මේ සටහනේ තියන අඩුපාඩු පොඩි කමෙන්ට් එකකින් සම්පූර්ණ අමතක කරන්න එපා.

ඔපෙරා මිනි 5 ලබාගන්න මෙතැන ක්ලික් කරන්න

ඔපෙරා මිනි 5 නොකියා 5800 එක්ස්ප්‍රෙස්මියුසික් මත (On Nokia 5800 XpressMusic):
ටැබ් බ්‍රවුසිං - Tab Browsing
 
ස්පීඩ් ඩයල් - Speed Dial
ගූගල් - Google
 
තිරය මත යතුරුපුවරුව - Onscreen Keyboard 
ගූගල් - වෙඩ් අඩවි සොයන්න
ගූගල් - පිංතූර සොයන්න
සිංහල බ්ලොග් කියවන්න
 සිංහල බ්ලොග් කියවන්න
(හරියටම යුනිකෝඩ් වැඩ නෑ. ඒත් කියවන්න බැරි කමක් නෑ :))
මෙනුව

Saturday, September 12, 2009

ලිනක්ස් වල රූට් (Root) රහස්‍ය කේතය වෙනස් කරගන්නා සැටි.

ලිනක්ස් ගැන මීට කලිනුත් මම ලියලා තියනවනේ විස්තර. අද කථා කරන්න යන්නේ ටිකක් ආකර්ෂණිය මාතෘකාවක් ගැන. ඒ තමයි ලිනක්ස් වල රූට් රහස්‍ය කේතය (root password) අමතක වුනොත් කරන්නේ මොකක්ද කියන එක.
ලිනක්ස් වල රූට් කියලා කියන්නේ "god of the system" කියලා කිව්වාට වරදක් නැහැ. මොකද මෙහෙයුම් පද්ධතියේ පූර්ණ බලතල තියෙන්නේ මෙම රූට් කියන පරිශීලකයාට (user) වන නිසා. ලිනක්ස් පද්ධතිය කෙතරම් නම්‍යශීලීද කියනවා නම් රූට් පරිශීලකයාට ඕනෑම දෙයක් රිසි පරිදි වෙනස් කරන්න පුළුවන් වගේම යම් දෙයක් අවබෝධයකින් තොරව වෙනස් කළහොත් නැවත පණ ගැන්වීමකදී පද්ධතිය ක්‍රියාත්මක නොවී තියෙන්නටද පුළුවන. (මෙය මෙහෙයුම් පද්ධතියේ වරදක් නොව භාවිතා කරන්නාගේ අතපසුවීමක්/වරදක් බව ඔබ තේරුම් ගත යුතුය.)
ඉතිං දැන් මේ රූට් රහස්‍ය කේතය අමතක වුනොත් මොකද වෙන්නේ? පද්ධතියේ පාලනය අවශ්‍ය පරිදි කළ නොහැකි වෙනවා. එනිසා මෙම රහස්‍ය කේතය වෙනස් කරන්නට ක්‍රමයක් තියනවා නම් කොතරම් හොඳ දැයි ඔබට සිතෙන්නට පුළුවන්. පළමුවෙන්ම කිව යුතු දෙය තමයි, නිවැරදි ලෙස ආරක්ෂණ ක්‍රියාමාර්ග (Security Measures) ගෙන තිබේ නම් මෙම ක්‍රියාව (රහස්‍ය කේතය වෙනස් කිරීම) එතරම් පහසු දෙයක් නොවන අතරම සමහර විට කළ නොහැකි දෙයක් බවට පත් වන්නටද පුළුවන. නමුත් අප සලකන්නේ ඔබගේම පුද්ගලික පරිගණකයක් නම් මා මේ හඳුන්වා දෙන්නට යන ක්‍රමය එතරම් අපහසු නොවනු ඇත.
අවශ්‍ය දෑ:
  1. පළමු පණ ගැන්වීමේ උපකරණය (First Boot Device) සීඩී හෝ ඩීවීඩී ධාවකය වීම හෝ එය BIOS මගින් වෙනස් කිරීමට ඔබට හැකියාව තිබීම. BIOS වැඩසටහන පරිගණකයෙන් පරිගණකයට (එහි BIOS මෘදුකාංගය අනුව) වෙනස් වන අතර සාමාන්‍යයෙන් පණ ගැන්වීමේ උපකරණය "Boot Setting" යන මෙනුව තුළ "Boot Device" හෝ "Boot Sequence" යන උප මෙනුව යටතේ පවතී.
  2. උබුන්ටු, ලිනක්ස් මින්ට් හෝ ඔබ කැමති ලිනක්ස් ලයිව් සීඩී (Live CD) එකක්. (විස්තර කිරීම සඳහා ලිනක්ස් මින්ට් භාවිතා වේ.
ක්‍රමය:
  1. පළමු පණ ගැන්වීමේ උපකරණය සීඩී හෝ ඩීවීඩී ධාවකය නම් ඔබගේ ලයිව් සීඩී එක යොදා පරිගණකය එමගින් පණ ගන්වන්න.

  2. දැන් ලිනක්ස් ඩෙස්ක්ටොප් එකට ආ පසු (After loading everything) රූපයේ පරිදි ඩෙස්ක්ටොප් එක මත රයිට් ක්ලික් කර එන මෙනුවේ "Open in Terminal" තොරන්න. ලැබෙන Terminal එකෙහි පහත රූප වලින් දැක්වෙන අයුරු පිළිවෙලින් විධානයන් ලබා දෙන්න. විධාන සියල්ල ලබා දිය යුත්තේ පෙරළි කොමා විරහිතවය.

  3. "sudo fdisk -l" මෙමගින් ඔබගේ දෘඩ තැටියේ ලිනක්ස් ස්ථාපනය කර ඇති බෙදුම (Partition) හඳුනා ගත හැක. රූපයේ නම් එය /dev/sda2 වේ.

     
      
  4.  දැන් නව ගොනුවක් තනා ගැනීම සඳහා මෙම විධානය ලබා දෙන්න. "sudo mkdir /media/temp". එවිට /media යන ස්ථානයේ temp නමින් ගොනුවක් සෑදේ.

      
  5. දැන් කළ යුත්තේ අදාළ බෙදුම temp යන ස්ථානයට ආරූඪ (mounting) කිරීමයි. ඒ සඳහා මෙම විධානය යොදා ගන්න. "sudo mount /dev/sda2 /media/temp"

  6. ඉන් පසු කළ යුත්තේ මෙම ලිනක්ස් සහිත බෙදුම "root partition" එක හැටියට මෙහෙයුම් පද්ධතියට හඳුන්වා දීමයි. රූපය බලන්න. විධානය, "sudo chroot /media/temp"

  7. දැන් අවසන් අදියර, කරන්න තියෙන්නේ රහස්‍ය කේතය වෙනස් කිරීම. රූපයේ පරිදි "passwd root" විධානය ලබා දෙන්න. දැන් ඔබට අවශ්‍ය රහස්‍ය කේතය ඇතුල් කළ පසු නැවතත් එයම ඉදිරිපත් කරන්න. අවසානයේ, "passwd: Password updated successfully" යනුවෙන් ලැබෙනු ඇත.

දැන් ඉතිං කරන්න තියෙන්නේ පරිගණකය නැවත පණ ගන්වන එක. රූට්  රහස්‍ය කේතය භාවිතා කරලා ලොග් වෙන්න. මේක රූට් රහස්‍ය කේතය විතරක් නෙවෙයි, ඕනෑම පරිශීලකයෙකුගේ රහස්‍ය කේතයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක්. උදාහරණයක් විදියට, guest_user කියන පරිශීලකයාගේ රහස්‍ය කේතය වෙනස් කරන්න නම් 7 වන අදියරේදි  "passwd guest_user" කියන විධානයයි භාවිතා කළ යුත්තේ.

Friday, September 11, 2009

සිම්බියන් ඕඑස් සහ එහි 9.4 සංකරණය 5 (Symbian OS 9.4 rel.5)

සිම්බියන් යනු නොකියා ස්මාට්ෆෝන් නැතනම් "Smartphone" දුරකථන වල භාවිතා වන මෙහෙයුම් පද්ධතියයි. මෙය ක්‍රමයෙන් විකාශනය වූ පද්ධතියක් වන අතර අද වන විට සිම්බියන් ඕඑස් 9.4 වල පස් වන සංස්කරනය බොහෝ දුරකථන නිෂ්පාදකයින් විසින් භාවිතා කෙරෙයි. තවදුරටත් එය ජනප්‍රිය වෙමින් පවතින්නේ එය අඩංගුව නිකුත්වන දුරකථන භාවිතයේ පහසුව නිසාය.

මීට පෙර සිම්බියන් මෙහෙයුම් පද්ධති භාවිතා වුනේ නොකියා දුරකථන වල පමණක් වුනත් පළමුව කිව්වා වගේ දැන් නම් මෙම තත්වය වෙනස් වී තිබෙනවා. ඒ මොකද සිම්බියන් මෙහෙයුම් පද්ධතිය දැන් නිදහස් සහ විවෘත මෘදුකාංගයක් (Free and Open Source Software - FOSS) වන නිසා. මෙනිසා ඕනෑම කෙනෙකුට අවශ්‍ය පරිදි එය භාවිතා කරන්න පුළුවන් තමන්ගේ උපකරණ සමඟ. මෙනිසා තමයි සැම්සුං, සෝනි එරික්සන් වැනි අනෙකුත් සුප්‍රසිද්ධ දුරකථන නිෂ්පාදකයින් දැන් මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතයට යොමු වී තිබෙන්නේ.

එයට හේතු:
පළමුවෙන්ම කිව්වොත් සිම්බියන් කියන්නේ නොකියා සමාගම විසින් මූලිකව භාවිතා කරන ලද මෙහෙයුම් පද්ධතියක්. මෙනිසා මෙයට එක් වී සිටින භාවිතා කරන්නන්ගේ (User Community) ප්‍රමාණය ඉතාමත් ඉහළයි. ඒ වගේම තමයි මෘදුකාංග සංවර්ධකන් ද (Software Developers) ප්‍රමාණයෙන් අති විශාලයි. ඉතින් එතකොට මොකද වෙන්නේ?
  1. ඉතා විශාල මෘදුකාංග සංඛ්‍යාවක් අන්තර්ජාලයෙන් සොයා ගත හැක. (Software Availability)
  2. ඉක්මනින් අවශ්‍ය උදව් ලබා ගත හැක. (Community Help)
  3. ඉක්මනින් වැරදි නිවැරදි කිරීම - විශාල ප්‍රජාවකින් සමන්විත නිසා මෘදුකාංග වල පවතින වැරදි ඉක්මනින් හඳුනා ගැනීමත් එයට පිළියම් යෙදීමත් සිදුවෙයි (Software Updates)
  4. භාවිතයට පහසු අතුරුමුහුණතක් තිබීම. (User-Friendly Interface)
නොකියා 5800 එක්ස්ප්‍රස් මියුසික් යනු නොකියා සමාගමේ පළමු ස්පර්ශ සංවේදී දුරකථනයයි. පළමු වරට Symbian OS v9.4, Series 60 rel. 5 කියන සිම්බියන් මෙහෙයුම් පද්ධතිය භාවිතා කළේ මෙම දුරකථනයටයි. සමහර වෙලාවට මෙය Symbian OS v5 (සිම්බියන් ඕඑස් වර්ෂන් 5) කියලත් හඳුන්වනවා. එය ස්පර්ශ සංවේදී දුරකථන සඳහා විශේෂයෙන්ම නිපදවන ලද සිම්බියන් මෙහෙයුම් පද්ධතියකි. මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන දුරකථන,

දැනට වෙළඳපලේ පවතින (නිකුත් වූ දින පිළිවෙලට),
  1. නොකියා 5800 එක්ස්ප්‍රස් මියුසික් (Nokia 5800 XpressMusic) - 2008 නොවැම්බර්
  2. සැම්සුං අයි8910 ඔම්නියා එච්ඩී (Samsung i8910 Omnia HD) - 2009 මැයි
  3. නොකියා එන්97 (Nokia N97) - 2009 ජුනි
  4. නොකියා 5530 එක්ස්ප්‍රස් මියුසික් (Nokia 5530 XpressMusic) - 2009 අගොස්තු
වෙළඳපලට නිකුත්විමට නියමිත (ප්‍රසිද්ධ කළ දින පිළිවෙලට),
  1. සෝනි එරික්සන් සේෂෝ - අයිඩෝවූ (Sony Ericsson Satio - Idou) - 2009 පෙබරවාරි
  2. නොකියා 5800 නැවිගේෂන් එඩිෂන් (Nokia 5800 Navigation Edition) - 2009 අගෝස්තු
  3. නොකියා එන්97 මිනි (Nokia N97 Mini) - 2009 සැප්තැම්බර්
  4. නොකියා එක්ස්6 (Nokia X6) - 2009 සැප්තැම්බර්
මෙම සියලුම දුරකථන වල භාවිතා වන්නේ ඉහත සඳහන් මෙහෙයුම් පද්ධතිය වුවත් එක් එක් දුරකථනයේ වින්‍යාසය (Configuration) නම් පැහැදිලි ලෙසම වෙනස් වේ. නමුත් මෙම පද්ධතිය සඳහා ආර්ම් සකසනයක්ම (ARM Processor) අවශ්‍ය වෙන බව තමයි කියවෙන්නේ. (වැඩි විස්තර)

මෙකී නොකී තවත් බොහෝ හේතූන් නිසා ක්‍රම ක්‍රමයෙන් "ස්මාට්ෆෝන්" සඳහා වූ මෙහෙයුම් පද්ධති වලින් සිම්බියන් ඕඑස් ඉහළට ඒම වළක්වනු නොහැකි වනු ඇත. එය නිදහස් සහ විවෘත මෘදුකාංගයක් කිරීම ඒ සඳහා මං පෑදු ප්‍රධාන සාධකයක්ද වන්නේය.