Showing posts with label Computer. Show all posts
Showing posts with label Computer. Show all posts

Thursday, September 17, 2009

හිම දිවියා නොහොත් Snow Leopard

සිරස්තලය දැක්ක ගමන් නම් හිතෙන්නේ මම මේ සතෙක් ගැන කථා කරන්න යනවා කියලා නේද? හැබැයි මෙහෙයුම් පද්ධති ගැන ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් නම් දන්නවා මම මේ මොකක්ද කියන්න යන්නේ කියලා. ඒ මොකද ඒ නම මේ දවස්වල සෑහෙන කියවෙන එකක් නිසා.
ඇපල් සමාගම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒක කිව්ව ගමන් කාටත් එකපාරටම මතක් වෙන්නේ ඇපල් අයිෆෝන් එක. අන්න එතකොට නම් මතක් වුනා නේද මේ දිවියා ගැන? ඒත් නැද්ද? හරි හරි එහෙනම් මම ම කියන්නම්කෝ. ඔයාලා හැමෝම දන්නවනේ ඇපල් සමාගමේ සුප්‍රසිද්ධ මැක් පරිගණක (Mac Computers) ගැන. අන්න ඒ පරිගණක වලට ඇවිත් තිබුන මැක් ඕඑස් එක්ස් (Mac OS X) කියන මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය (10.6) තමයි මේ "හිම දිවියා" නැත්නම් "Snow Leopard" කියලා කියන්නේ. මේ තියෙන්නේ පරණ මැක් ඕඑස් එක්ස් සංස්කරණයක තිර රූපයක්.

සංස්කරණය 10.5 "දිවියා" නොහොත් "Leopard"
මෙම "Snow Leopard" මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙලා තියෙන්නේ 2009 අගොස්තු 28 දිනයේ. ඇත්තෙන්ම මෙය Mac OS X මෙහෙයුම් පද්ධති වල 7 වන ප්‍රධාන නිකුත් කිරීමයි. මේකේ ප්‍රධාන වෙනස්කම් තමයි.
  1. නව පෙනුම.
  2. ස්ථාපනයේ, පණ ගැන්වීමේ සහ නිවා දැමීමේ වේගයත් භාවය.
  3. අඩු ඉඩ ප්‍රමාණය (මෙය Leopard පද්ධතියට වඩා 7GB ප්‍රමාණයකින් අඩු බවයි පැවසෙන්නේ)
  4. නව ආරකට වීන අකුරු ලිවීමේ ක්‍රමය. ට්‍රැක්පෑඩ් එක මත කෙලින්ම අකුර ලියන්න පුළුවන්. චීන වගේ භාෂාවකට එහෙම ක්‍රමයක් නැති වුනාම තියන අමාරුව ඉතින් කියන්න අවශ්‍ය නැහැනේ.


  5. 64bit තාක්ෂණය
මෙවැනි තවත් නව වෙනස්කම් බොහොමයක් ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ අලෙවිය දැනටමත් කලින් පද්ධතියේ (Leopard) අලෙවිය මෙන් දෙගුණයක් සහ ඊටත් කලින් පද්ධතියේ (Tiger) අලෙවිය මෙන් හතර ගුණයක් බව තමයි පැවසෙන්නේ.
ඉතින් මෙම පද්ධතියේ මිල තමයි $29. හරි ලාභයි වගේ නේද අනෙකුත් පද්ධති එක්ක සලකද්දි? මේ මිලට ඔබට ලැබෙන්නේ ඔබ කලින් පද්ධතියකින් උසස් වීමක් ලබා දෙනවා නම් විතරයි. ඒක තමයි සාපේක්ෂව මේ ගාන අඩු. මොකද මේ පද්ධති වැඩ කරන්නේ විශේෂ ඇපල් දෘඩාංග මත. ඒක නිසා කෙනෙක් ලඟ දැනට තියන අයිබීඑම් අනුකූල (IBM Compatible) පරිගණක වල ක්‍රියාත්මක කරන්න බැහැ (නීත්‍යානුකූල ලෙස ස්ථාපනය කරන්නේ නම්). ඉතින් ඔබට අලුත් ඇපල් පරිගණකයක් ගැනීමට සිද්ධවෙනවා දැනට ඔබ ලඟ එකක් නැත්නම්.

කෙසේ වෙතත් ඇපල් මැක් පද්ධති පදනම් වෙලා තියෙන්නේ යුනික්ස් (UNIX) සහ බීඑස්ඩී (BSD) කියන පද්ධති (ලිනක්ස් වල පදනමත් යුනික්ස්) මත නිසා වින්ඩෝස් වලට වඩා නම් ගොඩාක් ඉදිරියෙන් තියනවා කියන එකට සැකයක් නැහැ. ඒ වගේම ආකර්ෂණීය දෘඩාංගත් ඇපල් සඳහා පවතිනවා. ප්‍රධානම එක තමයි ලැප්ටොප් පරිගණක වල තියන ට්‍රැක් පෑඩ් එක. ඒක අනෙක් සාමාන්‍ය ට්‍රැක් පෑඩ් වලට වඩා තරමක් විශාලයි. බහු-ස්පර්ශ සංවේදීතාවය (Multi-touch) තමයි වඩාත් ලගන්නා අංගය. එහිදී ඔබට රූපයක් කැරකැවීම, හැරවීම, විශාල කිරීම වගේ දෙවල් ඇඟිලි දෙකක් උපයෝගී කරගෙන කරන්න පුළුවන්. පහළ තියන වීඩියෝවේ තියෙන්නේ ඒ ගැන නිරූපණයක් (Demonstration).



ඉතින් මේ ආකාරයට විස්තර කියන්න ගියොත් නම් කෙලවරක් නැති දෙවල් හිතට එනවා. ඔයාලම ගිහිල්ලා බලන්නකෝ ඇපල් වෙබ් අඩවියට තව අලුත් දෙවල් මොනවද තියෙන්නේ කියලා.
වෙබ් අඩවිය

Wednesday, August 26, 2009

ලැප්ටොප් පරිගණකය

මගේ ලැප්ටොප් පරිගණකයේ උෂ්ණත්වය ටිකෙන් ටික ඉහළ යනවා දැක්කම මට ඒක ඒ තරම් සුභ ලකුණක් කියලා හිතුනෙ නෑ. ඉතින් අත් දෙක බැඳගෙන ඉදලා පරිගණකයේ අවසන් කාලය දකිනවට වඩා ඒක ගලවලා බලලා මොකද වෙලා තියෙන්නේ කියලා බලන එක හොඳයි කියලා හිතුණා. ලැප්ටොප් ගැලෙව්වේ පළවෙනි පාරට නොවන බව නම් මේක බලන සමහර කෙනෙක් දන්නවා වෙන්නත් පුළුවන්.

ඩෙස්ක්ටොප් පරිගණකයක් වගේ නෙවෙයි ලැප්ටොප් පරිගණකයක් ගලවනකොට හරිම පරිස්සම් වෙන්න ඕන මොකද පොඩි වැරදීමකින් හරි කොටසකට පලුද්දක් වුනොත් මුළු මවු පුවරුවම අපතේ ගියා වෙන්න පුළුවන්. ඒකට හේතුව බොහෝ දුරට හැම දේම මවු පුවරුවටම සංයුක්ත කරලා ලැප්ටොප් පරිගණක හදන නිසා (හැබැයි මෙතනදි අපිට රැම් කාඩ් සහ හාඩ් ඩිස්කය අයින් කරන්න පුළුවන් වෙනම). මෙහෙම සංයුක්ත කරලා හදන්න හේතුව තමයි ඉඩ ඉතුරු කර ගැනීම. අර කලින් කිව්ව රැම් සහ හාඩ් ඩිස්කය ගලවන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ කෙනෙකුට "Upgrade" කිරීමක් අවශ්‍යයි කියලා හිතුනොත් පහසු වෙන්න.

කොහොමින් කොහොම හරි දැන් ඔක්කොම ගැලෙව්වා. දූවිල්ල හෝ ගාලා. මෙහෙ ඉතිං ස්විස් වගේ නෙවෙයිනේ.
මවු පුවරුව අරගෙන හොඳට සුද්ධ පවිත්‍ර කළා. ඉතින් කරලා ඕක ටිකක් අතේ තියාගෙන ඉන්නකොට හිතුණා පින්තූරයක් අරගෙන බ්ලොග් එකට දැම්මනම් මොකද කියලා. ඉතින් ඔන්න ඒ පින්තූර ටික.



Sunday, March 1, 2009

කොම්පියුටරයෙන් තවත් වැඩ

කොම්පියුටරය යනු ලොව මවිත කළ හැකි දේ කළ හැකි අගනා උපකරණයකි. එය ටයිප් රයිටයක් ලෙස කාලයකුත් බහුමාධ්‍ය උපකරණයක් ලෙස කාලයකුත් කා අතරත් මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. කනගාටුවට කරුණක් වූයේ එය එම කර්තව්‍යයන් සඳහා පමණක් කෙනෙකු විටෙක සිතන්නට පෙළඹීමය. තාක්ෂණික දියුණුවත් සමග පරිගණකයේ තව තවත් වර්ණවත් පැති මිනිසාට දකින්නටත් විඳින්නටත් හැකි විය. එයින් එකක් නම් ඔබ අප කවුරුත් දන්නා අන්තර්ජාල තාක්ෂණයයි. නමුත් පරිගණකය අද නොමැති තැනක් නැති තරම්ය. ඔබගේ අගනා ඩිජිටල් ඔරලෝසුවේ සිට ගගණ සැරිසරණා සුවිසල් යානා වලට පරිගණක තාක්ෂණය නැතිවම බැරි දෙයකි.
නමුත් මම මේ සැරසෙන්නේ පරිගණක තාක්ෂණයේ හරබර දේ ගෙනහැර දක්වන්නට නොව පරිගණකය භාවිතයෙන් අකුරු ලියන්නටත් චිත්‍ර අදින්නටත් උපකාරයක් වන්නටය. "මේ මොන මගුලක් ද?" යි, ඔබ දැන් සිතනවාට සැක නැත. මක්නිසාද යත් ඔබ සියලු දෙන ඒ ගැන හොදාකාරවම දන්නා බැවිනි. මොහොතක් ඉවසන්න. මා මේ කියන්නට සැරසෙන්නේ යතුරුපුවරුව භාවිතයෙන් අකුරු ලියන්නටවත් මූසිකය (මවුසය) භාවිතයෙන් චිත්‍ර අඳින්නටවත් නොවේ.



ප්‍රථමයෙන් කිව යුත්තේ මා කලාකරුවෙකු නොවන බවයි. මේ සරල රූපයෙන් මා පෙන්වන්නට උත්සාහ කරන්නේ මා ඉහත සඳහන් කළ දෙයයි. මෙම චිත්‍ර අඳින්නටත් අකුරු ලියන්නටත් මා භාවිතා කර ඇත්තේ බොහෝ කලාකරුවන් අතර ප්‍රසිද්‍ධ නමක් වන "Wacom" නම් ආයතනය විසින් නිෂ්පාදිත "Bamboo Fun" යන උපකරණයයි. මෙහි සරල සැකැස්ම අපගේ පැරණි ගල් ලෑල්ලකට සමානය. ගල් කූර හා සැසඳිය හැකි පෑනකට සමාන උපකරණයක්ද එයට අයත් වේ.



මෙය භාවිතා කරමින් නිර්මාණශීලි කලාකරුවෙකුට පරිගණකයේ මැවිය හැකි දේ අනන්ත අප්‍රමාණ හා ඉතා සිත් ගන්නා සුළු වනු ඇත.
"වැකොම් බැම්බූ ෆන්"