ලිනක්ස් ගැන මීට කලිනුත් මම ලියලා තියනවනේ විස්තර. අද කථා කරන්න යන්නේ ටිකක් ආකර්ෂණිය මාතෘකාවක් ගැන. ඒ තමයි ලිනක්ස් වල රූට් රහස්‍ය කේතය (root password) අමතක වුනොත් කරන්නේ මොකක්ද කියන එක.
ලිනක්ස් වල රූට් කියලා කියන්නේ "god of the system" කියලා කිව්වාට වරදක් නැහැ. මොකද මෙහෙයුම් පද්ධතියේ පූර්ණ බලතල තියෙන්නේ මෙම රූට් කියන පරිශීලකයාට (user) වන නිසා. ලිනක්ස් පද්ධතිය කෙතරම් නම්‍යශීලීද කියනවා නම් රූට් පරිශීලකයාට ඕනෑම දෙයක් රිසි පරිදි වෙනස් කරන්න පුළුවන් වගේම යම් දෙයක් අවබෝධයකින් තොරව වෙනස් කළහොත් නැවත පණ ගැන්වීමකදී පද්ධතිය ක්‍රියාත්මක නොවී තියෙන්නටද පුළුවන. (මෙය මෙහෙයුම් පද්ධතියේ වරදක් නොව භාවිතා කරන්නාගේ අතපසුවීමක්/වරදක් බව ඔබ තේරුම් ගත යුතුය.)
ඉතිං දැන් මේ රූට් රහස්‍ය කේතය අමතක වුනොත් මොකද වෙන්නේ? පද්ධතියේ පාලනය අවශ්‍ය පරිදි කළ නොහැකි වෙනවා. එනිසා මෙම රහස්‍ය කේතය වෙනස් කරන්නට ක්‍රමයක් තියනවා නම් කොතරම් හොඳ දැයි ඔබට සිතෙන්නට පුළුවන්. පළමුවෙන්ම කිව යුතු දෙය තමයි, නිවැරදි ලෙස ආරක්ෂණ ක්‍රියාමාර්ග (Security Measures) ගෙන තිබේ නම් මෙම ක්‍රියාව (රහස්‍ය කේතය වෙනස් කිරීම) එතරම් පහසු දෙයක් නොවන අතරම සමහර විට කළ නොහැකි දෙයක් බවට පත් වන්නටද පුළුවන. නමුත් අප සලකන්නේ ඔබගේම පුද්ගලික පරිගණකයක් නම් මා මේ හඳුන්වා දෙන්නට යන ක්‍රමය එතරම් අපහසු නොවනු ඇත.
අවශ්‍ය දෑ:
- පළමු පණ ගැන්වීමේ උපකරණය (First Boot Device) සීඩී හෝ ඩීවීඩී ධාවකය වීම හෝ එය BIOS මගින් වෙනස් කිරීමට ඔබට හැකියාව තිබීම. BIOS වැඩසටහන පරිගණකයෙන් පරිගණකයට (එහි BIOS මෘදුකාංගය අනුව) වෙනස් වන අතර සාමාන්‍යයෙන් පණ ගැන්වීමේ උපකරණය "Boot Setting" යන මෙනුව තුළ "Boot Device" හෝ "Boot Sequence" යන උප මෙනුව යටතේ පවතී.
- උබුන්ටු, ලිනක්ස් මින්ට් හෝ ඔබ කැමති ලිනක්ස් ලයිව් සීඩී (Live CD) එකක්. (විස්තර කිරීම සඳහා ලිනක්ස් මින්ට් භාවිතා වේ.
ක්‍රමය:
- පළමු පණ ගැන්වීමේ උපකරණය සීඩී හෝ ඩීවීඩී ධාවකය නම් ඔබගේ ලයිව් සීඩී එක යොදා පරිගණකය එමගින් පණ ගන්වන්න.
- දැන් ලිනක්ස් ඩෙස්ක්ටොප් එකට ආ පසු (After loading everything) රූපයේ පරිදි ඩෙස්ක්ටොප් එක මත රයිට් ක්ලික් කර එන මෙනුවේ "Open in Terminal" තොරන්න. ලැබෙන Terminal එකෙහි පහත රූප වලින් දැක්වෙන අයුරු පිළිවෙලින් විධානයන් ලබා දෙන්න. විධාන සියල්ල ලබා දිය යුත්තේ පෙරළි කොමා විරහිතවය.
- "sudo fdisk -l" මෙමගින් ඔබගේ දෘඩ තැටියේ ලිනක්ස් ස්ථාපනය කර ඇති බෙදුම (Partition) හඳුනා ගත හැක. රූපයේ නම් එය /dev/sda2 වේ.
- දැන් නව ගොනුවක් තනා ගැනීම සඳහා මෙම විධානය ලබා දෙන්න. "sudo mkdir /media/temp". එවිට /media යන ස්ථානයේ temp නමින් ගොනුවක් සෑදේ.
- දැන් කළ යුත්තේ අදාළ බෙදුම temp යන ස්ථානයට ආරූඪ (mounting) කිරීමයි. ඒ සඳහා මෙම විධානය යොදා ගන්න. "sudo mount /dev/sda2 /media/temp"
- ඉන් පසු කළ යුත්තේ මෙම ලිනක්ස් සහිත බෙදුම "root partition" එක හැටියට මෙහෙයුම් පද්ධතියට හඳුන්වා දීමයි. රූපය බලන්න. විධානය, "sudo chroot /media/temp"
- දැන් අවසන් අදියර, කරන්න තියෙන්නේ රහස්‍ය කේතය වෙනස් කිරීම. රූපයේ පරිදි "passwd root" විධානය ලබා දෙන්න. දැන් ඔබට අවශ්‍ය රහස්‍ය කේතය ඇතුල් කළ පසු නැවතත් එයම ඉදිරිපත් කරන්න. අවසානයේ, "passwd: Password updated successfully" යනුවෙන් ලැබෙනු ඇත.
දැන් ඉතිං කරන්න තියෙන්නේ පරිගණකය නැවත පණ ගන්වන එක. රූට් රහස්‍ය කේතය භාවිතා කරලා ලොග් වෙන්න. මේක රූට් රහස්‍ය කේතය විතරක් නෙවෙයි, ඕනෑම පරිශීලකයෙකුගේ රහස්‍ය කේතයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක්. උදාහරණයක් විදියට, guest_user කියන පරිශීලකයාගේ රහස්‍ය කේතය වෙනස් කරන්න නම් 7 වන අදියරේදි "passwd guest_user" කියන විධානයයි භාවිතා කළ යුත්තේ.














